Me Prathama Wasanthayai – Sanath Nandasiri

kularathna ariyawansa - rohana weerasinghe - sanath nandasiri

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
වසන්තයක්‌ වී ආවේ

ගායනය – සංගීත් නිපුන් සනත් නන්දසිරි
සංගීතය – රෝහණ වීරසිංහ
පදමාලාව – කුලරත්න ආරියවංශ

ගිම්හානය පලා ගිහිං….. ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා… ඒ මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල…. නැවුම් හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්… කොයිතරම් සුන්දරද…….

තනිකම….. හුදෙකලාව සමඟ කාලාන්තරයක්‌ ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්…. වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක්‌ නැහැ… අපේක්‍ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා……..

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි…

ප්‍රේමයේ ඇති සංවේදීතාවය නොලද තරුණයෙක්‌….. දිගු කලක්‌ හුදෙකලාව දිවි ගෙවූ චරිතයක්‌….. දැන් ප්‍රේමවන්තයෙක්‌ වෙලා…… පළමු පෙම….. ජීවිතයට වසන්තය උදාවෙලා. කුළුඳුලේ ආ වසන්තය….. ඔහුගේ ජීවිතය පුරා මල් පිපිලා…. ඒ විතරක්‌ද.. ඒ මල් රොන් සොයා එන බිඟුන්ගේ නාදය…….වසන්තය කොතරම් සුන්දර ද……

සනත් නන්දසිරිගේ කැසට්‌පටයට සිංදු දෙකක්‌ ලියාදෙන්න කියලා කිව්වා. මනෝඡ් පීරිස්‌ මට පොඩි ඉඟියකුත් දුන්නා…. අයියේ…. සීත රෑ යාමේ වගේ සිංදුවකුත් හොඳයි කියලා. ප්‍රේමය වස්‌තු විෂය වූ ගී තමයි ඉල්ලන්නේ. ඉතින් විරහ ගීයක්‌ නැතිව ප්‍රේමයේ ආනන්දය, චමත්කාරය ඇතුළත් කෙටි වචන ටිකක්‌ යොදමින් මම මේ ගීතය ලියුවා. ගීයේ පද රචකයා කුලරත්න ආරියවංශ පැවසුවා..

තරු නැගෙනතුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ…

ආදරයේ අත්දැකීම් නොලත් මේ හිරිමල් යෞවනය පාළුවෙන් ගත කළ ජීවිතය… අන්ධකාරයි… හුදෙකලාව සිටිද්දී බලාපොරොත්තු පොදියකින් හිත පිරිලා.. තාරුකා මල් පිපෙන තුරා නිද්‍රාශීලීව සිටි අම්බරය වගේ… සඳ පායා එනතුරා අඳුර රජ කළා සේ…. හුදෙකලා ජීවිතයට ඇය ආවා. හරියට අන්ධකාර රාත්‍රියට සඳ එළිය වැටුණා වගේ…

වචන අඩුවෙන් සංගීතඥයාට වැඩි ඉඩක්‌ දීලා.. ප්‍රේමයේ සතුට උද්දීපනය වන ආකාරයට මේ පද පෙළ ලියෑවුණා කියා මම හිතනවා….. රෝහණගේ තනුව, සංගීතය ඉතාම මධුරයි.. සනත්ගේ හඬ. අවුරුදු හතළිහකට කලින් ඇසූ තාරුණ්‍යයේ හඬ…. තරුණ්‍යයේ හැඟීම්.. ගායනයෙන් ඉස්‌මතු වුණා. කුලරත්න ආරියවංශ …. ගායනය තනුව ගැනත් තෘප්තිමත්.

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
වසන්තයක්‌ වී ආවේ…

ගිනියම් වූ කතරක ඉමක්‌ නොපෙනෙන මිරිඟුව දෙස බලමින් පිපාසාව සංසිඳුවා ගන්නවා. ඒත් ඒක මායාවක්‌… ඒ අතරේදි දිය පොදක්‌ සැබෑවටම ලැබුණොත්…. කර්කශ පොළොවක්‌ ඇති කතරක ගමන් කරද්දී සිසිල් ජලය සහිත දොළක්‌ හමු වුණොත්…. “ඕ … මේ තරුණයාගේ ජීවිතයට ආවේත් හරියට කතරක හමුවන සිහිල් දොළක්‌ වාගේ……. ඇත්තටම වසන්තය ආවා වාගේ…..

ගීයෙ පද මාලාව … සනත් නන්දසිරිගේ ළගන්නා හඬ වගේම රෝහණ වීරසිංහගේ මාධුර්යය ගී තනු…. එක්‌තැන් වී හැදුණු මේ ගීය අසද්දී ඇතිවන ආදර හැඟුම්….. වසන්තයක අසිරිය නොදැනෙන හිතක්‌ ඇද්ද…..

අජිත් අලහකෝන් (මීවිත)

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox