ආදරයේ පරමාදර්ශය – යසෝදරා

යසෝදරා… යසෝදරා…
හිතේ නැගුනු කලකිරීම කුමරිය…
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට…
යසෝදරා… යසෝදරා…

එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
සමාධියෙන් සිත ඈත දිවෙන විට…
පමා නොවී යලි ඇවිදින් මේ දෙස…

එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
දයා සිතින් එක බැල්මක් දී නෙත…
කෙමෙන් මැකී යයි යසෝදරා වත…

(ගායනය – සනත් නන්දසිරි)

Sarana Mangallaya

ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යයේ සුවිශේෂත ම ජන කාව්‍ය යසෝධරාවතයි. අඥාත ජනකවියකු ගේ සුවිශේෂ ප්‍රතිභාව එහි ගැබ් ව පවතී. මේ අනගි ජනකාව්‍යයේ පහස විවිධාකාරයෙන් ලබා ගැනීමට එදා සිට අද දක්වා කවියෝ, ගේය පද රචකයෝ සමත් වූහ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ “ළා දළු බෝපත්” නම් වූ නිර්මාණය ද එබඳු වූ එක් අවස්ථාවකි.

බෞද්ධ සාහිත්‍යකරුවන් සිද්ධාර්ථ චරිතය වීර චරිතයක් බවට පත්කරන්නට වැරවෑයම් කරද්දී යසෝදරාවගේ චරිතය හිතාමතා ම අමතක කරනු ලබයි. ඇය ලවා නරසීහ ගාථා කියවා එයින් ද බුද්ධ චරිතය ආලෝකවත් කර නිහඬ වෙයි.

එහෙත් ඒ යසෝදරා ගේ චරිතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රථමයෙන් ම සමත්වන්නේ සිංහල ජනකවියා ය. ආදරය ඉදිරියේ හඬා වැටෙමින් වුවද ආදරය වෛරයට පෙරළා නොගත් උත්තරීතර ගැහැනියක යසෝදරාවතෙන් ජනකවියා නිර්මාණය කරයි. ඒ තමා හැරගිය සැමියා පිළිබඳ ව තවමත් දයාව ආදරය දක්වන සාම්ප්‍රදායික ආසියානු කාන්තාව ගේ ප්‍රතිමූර්තියයි.

”කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා”

(යසෝදරාවත)

යසෝදරාව රඹුකන සිද්ධාර්ථ හිමියෝ නැවත වරක් මෙසේ ප්‍රතිනිර්මාණය කරති.

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරිතැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

කරුණාරත්න දිවුල්ගනේ

ඇය ද මිනිස් දුවකි. ආලයේ වේදනාව ඇයට ද දැනෙයි. තමාට අහිමිව ගිය ආදරය පිළිබඳව ඈ තුළ ද කම්පාවක් පවතී. එහෙත් ඇගේ හඬා වැලපීම සිද්ධාර්ථ හිමියන් සමාන කරනු ලබන්නේ ළා දළු බෝපතක් මඳ සුළඟට හෙමින් සැලීමටයි. ඒ උපමාලංකාරය තුළින් ඇය කෙරෙහි කම්පාවක් මෙන් ම භක්තියක් රසිකයා සිතෙහි හටගනී. එසේම ඇය හඬා වැටෙන්නේ රහසේ ය. ප්‍රසිද්ධියේ හඬා වැලපෙමින් තම සැමියාට අගෞරවයක් කිරීමට ඈ නොසිතයි. ජනකවියා මේ අවස්ථාව නිරූපණය කරන්නේ මේ අයුරිනි.

”තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමිසඳ සිහි වෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා හැර ලියෝ ලෙව් තුªළ ඇතිද තවා

සැබැවින් ම සිද්ධාර්ථයන් ගේ අභිනිෂ්ක්‍රමණයේ දී යසෝදරාවන් කුමන ප්‍රතිචාරයක් දැක්වූවා ද යන්න අපි නොදනිමු. එය ජනකවියා මෙන් ම සිද්ධාර්ථ හිමියෝ ද නොදනිනි. එහෙත් බෝධිසත්වයකුට පාද පරිචාරිකාවක වූ මේ ගැහැනියට වඩාත් වැඩි වටිනාකමක් ලබාදීමට ගැමි කවියා මෙන්ම සිද්ධාර්ථ හිමියෝ ද සමත් වෙති. එය බී.එච්. අමරසේන නම් වූ කොළඹ යුගයේ මධ්‍යකාලීන කවියා යසෝදරා දුටු ආකාරය ඉක්මවා යන්නකි.

”පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා
පෙරළා නොගොස් පෙම්බර මව්පියන් කරා
දරදඬු ගැසුණු අතපය හාමතේ දරා
නරකාදියකි හිමියනි අද යසෝදරා

(බී.එච්. අමරසේන)

එහෙත් එවැනි ගොරහැඬි ගැහැනිය වෙනුවට සංසාරයෙන් සංසාරයට ආදරය දෝතින් රැගෙන ආ සංයමශීලි ගැහැනියක සිද්ධාර්ථ හිමියෝ අප ඉදිරියට ගෙන එති.

”ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් සේ”

ඇය හදේ සිරකරගෙන සිටියා වූ ශෝකය සැබෑ ලෙස පිටාර ගලන්නේ කිඹුල්වත් පුර ගමනේ දී බුදුහිමියන් ඈ බැහැදකින්නට ගිය විට ය. ඇය බුදුහිමියන් ගේ දෙපාමුල හඬා වැටෙන්නේ අහිමි වූ ආදරය නිසා ඇති වූ මානසික ආතතිය මුදා හරිමිනි. එහෙත් මේ අවස්ථාව ඉතා ම සංයමශීලී ව තම පදමාලාවට එක්කර ගැනීමට සිද්ධාර්ථ හිමියෝ සමත්වෙති. ඇය බුදුහිමියන් ගේ දෙපා ළඟ ඇද වැටෙද්දී සාධුකාර දෙමින් නිවන් මල් පිපුණු බව පැවසීමෙන් ඒ අනුවේදනීය අවස්ථාව බොදු බැතිය වඩවන අවස්ථාවක් බවට පත්කරගනී.

”තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ….”

මේ ආකාරයෙන් ආදරය හා භක්තිය මනාව සම්මිශ්‍රණය කර කැටයම් කිරීමට පැරණි සිංහල ජනකවියා ද සමත් වෙයි.

”කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි සුවාමිනි….”

(යසෝදරාවත)

මේ ගීතයේ සංගීතය මෙන්ම ගායන ලතාවද සුවිශේෂ ය. මේ තුළ පැරණි වැලපුම් කවියක ඇති වැලපීම නො ඇසේ. ඒ වෙනුවට ආදරය දයාව කැටුවුණු කරුණා රසයක් මුළු ගීතයේ ම ආත්මය බවට පත්වෙයි. මට සුනිල් සරත් පෙරේරා කිවිඳුන්ගේ පදමාලාවක කොටසක් සිහිවේ.

”හිතේ නැගුණු කලකිරීම සොදුරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යසෝදරා
එයින් මිදෙන මං පෙත සොයනා කල
ඔබෙන් ලැබුණි නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දුවන කල…
කෙමෙන් මැකී යයි යසෝදරාවත

(ගායනය – සනත් නන්දසිරි)

බවුන් වඩන බෝධිසත්වයන් ගේ සිතින් යසෝදරා කෙමෙන් බැහැර වුවද රසිකයන් ගේ සිත් තුළ නොමැකෙන පරමාදර්ශී ආසියානු ගැහැනියක මෙබඳු නිර්මාණ තුළින් හඳුනාගත හැකිය.

සාමාන්‍ය ගැහැනියකට තමා දමා ගිය සැමියා ගැන මෙසේ දයාබරිත වීමට නොහැකිවන්නට පුළුවන. එහෙත් ආදරයේ උත්තරීතත්වය හඳුනා ගත් ගැහැනියක කෙබඳු විය යුතුද යන්න යසෝදරා ගේ චරිතය අපට පසක් කර දෙයි.

මේ මොහොතේ මා ඉදිරියේ මැවෙන්නේ කිඹුල්වත් පුර සුවිසල් රජ මැදුරකි. වේලාව මධ්‍යම රාත්‍රියයි. එහි කවුළුවක් අසල සඳ දෙස බලාගෙන යසෝදරා නිදිවර්ජිතව සිටින්නී ය. කවුළුවෙන් රිංගා යන සඳ එළිය පුංචි රාහුල පුතු නිදන සිරියහනට පතිත වෙයි. ඒ සරා සඳ වසා දමන්නට හෙමින් ඇදෙන කළුවලාවකි. යසෝදරා ගේ දෑස් අග රැඳුණ කඳුළක් තරුවක් සේ මොහොතක් දිලිසී බිමට වැටෙයි.

(ධම්මික බණ්ඩාර)

http://www.silumina.lk/punkalasa/20110626/_art.asp?fn=ar11062612

………………………………………………………………………………………………………………

යසෝදරාවත

සාරාසංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සොළසා සංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සූවිසි සංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
මෝරා පුබුදු මල ලෙස බුදු වු ලොව් තුරා

නිම නැති සංසාර සාගරය පීනලා
නිම නැති වස්තු ඇස් ඉස් මස් දන් දීලා
නිම නැති වීරියක් කෙරුවාය හිත වෙලා
නිම නැති බුදු බවට ජීවිත දන් දීලා

දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා
සුමේද නම් තපසුව බෝසත් එදිනා
කඳුරැලියේ වැඩ සිටි මහතා එදිනා
මේ මහතා මතු බුදු වෙයි වදාරනා

සිරි හස්තෙන් මල් පූජා කළ තැනදී
දෙසිතක් නැතුව නියමයි එක සිත් පැහැදී
දෝත පුරා වැඳ පිදු රඹගම් පුරදී
නියත විවරණේ ලැබුණේ එතැන්හිදී

සූවිසි බුදුන්ගෙන් විවරණ ලබා ගෙන
ආයුස තිබෙන පමණක් එහි වැඩ සිටින
වෙසතුරු වෙලා තපසේ ගොස් වැඩ සිටින
අහස පොළොව මෙන් අන්තිම දන් දෙමින

සහම්පතී වැනි අන්තිම වැඩි ගමන
සම්බ උණේ ළං වී බුදු බව සොඳින
සැම දෙවියෝ රැුස් වී සිට සැළකරන
බඹ ලොව ලක්ස ගණනක් දිව සිරි විඳින

කා ලේ බුදු වෙන්ඩ සරි උණිය මහතු නේ
ආ ලේ ඉතින් ඇරලා යමු සුවාමි නේ
කා ලේ බලා වැඩ සිටි බෝසත් එදි නේ
සී ලේ ගුණේ බැලූවොත් උපදින්ඩ අ නේ

දී පේ දේසෙ උපදින කුල කොතන බ ලා
කෝ පේ නො වී මව්පිය කවුද විමස ලා
රූ පේ කවුද සරණෙට මට සිතා බ ලා
දී පේ උතුම් දඹදිව දිවසින් දැක ලා

සුදොවුන් නිසා මායා මව් කුස දැක ලා
පන් සියයක් රූ ඇති කිරි මව් දැක ලා
අගමෙහෙසුන් කැටුව ම එන බව දැක ලා
ඉතින් දඹදිවට යෙමි මම වදා ළා

රන් යහනේ සැතපෙන කල බිසවුන් ට
පුන් සඳ මඬල අහසින් ඒ යහන පිට
රන් කඳ ලෙසින් වැඩියා සුදොවුන් ළඟට
තුන් ජාමෙට පෙනුණා සඳ මඬල මට

දණක් පමණ මල් අතුරපු දිව යහ නේ
පමණක් බිසව් සැතපෙන කල දුටු සී නේ
මැණිකක් දකින කොට ගැබ ඇතුළට වැදු ණේ
මොන මොන දෙයක් දෝ නො දැනෙයි සුවාමි නේ

මහමායා සැතපෙන කල මල් යහ නේ
අහසින් රිදී පරුවතයක් එම යහ නේ
දහසක් බිසෝවරු වට කර මුර සිටි නේ
මහ රජු හට සැළ කෙරුවා මෙම සී නේ

නේරංජනන් ගංගාවේ සුදු වැල් ලේ
නේරංජනේ ඉස්නානේ නෑවිල් ලේ
පැන්නා වටකරට සුවඳට මන ලොල් ලේ
පෙන්නා දිදී දරු සීනය පෙළින් පෙළු ළේ

දෙනෝ දහක් අඟනෝ මට මල් නෙළු වා
අනෝතත්ත විල මැද යහනක ඉඳු වා
කන්‍යා ලියෝ දෙදෙනෙක් පැන් නෑවෙව් වා
අනෝතත්ත විල මම සීනෙන් දුටු වා

සු දු සක ලෙසට ඇත් පැටියෙක් විත් යහ නේ
සු දු සොඬ ටිකෙන් මගෙ බඩ පිරිමදිති අ නේ
සු දු යම් දෙයක් සිදු වෙයි මම දුටු සී නේ
සු ද සුන් නිරිඳුනේ මොක දැයි ඔය සී නේ

පි රි සිදු බමුණු ගෙන්නා මහ රජ එදි නේ
කි රි බත් කවා දෙවනුව ඇසුවා සී නේ
නි රි ඳුනි අපල නැත කාටත් ඔය සී නේ
පි රි සිදු බෝසතෙක් උපදි ය ලොවට අ නේ

සුද්දෝදන නරනිඳුනේ අසනව ට
නපුරු සීන නො පෙනෙයි පින් කළ අය ට
පෙනුණු සීනෙ දරු සීනේ ම යි ඔබ ට
පින් ඇති බෝසතෙක් උපදිය තුන් ලොව ට

ර න් යහනේ සැතපෙන කල බිසවුන් ට
ර න් මාලාවක් තිබුණා යහන පි ට
ර න් දම විගස දැමුවා දෙවියෝ කර ට
අ ලූ යම් වේලෙ ඔය සීනෙ පෙනුණි ම ට

ම හ සෙ න් රැස්ව කුඩ කොඩි ගෙන වටකර ට
අ හ සි න් ඇවිත් රන් තරුවක් දෙරණ පි ට
වි ග සි න් ඇහිඳ ගත්තෙමි අමයුරු ලෙස ට
සී නෙ න් තරුව ගිලූණා මගෙ ගැබ තුළ ට

මහමායා සැතපෙන කල මල් යහ නේ
මහමෙර මුදුනෙ ආසනයක වැඩ ඉඳි නේ
අසල ගමක පුන් සඳ පිරිමදිමින් නේ
මහ රජුනේ මොක දැයි ඔය දුටු සී නේ

රිදී යහන සැතපෙන කල බිසවුන් ට
පිරී දෙතන කිරි එරිලා කරඬුව ට
රිදී කඳකි නයි පැටියෙකි දරණ ව ට
නෑරිය දරු සීන පෙනුණා බිසවුන් ට

ඉ ති න් ඇවිත් බමුණෝ වාසල් දොර ට
සො ඳි න් සීන තෝරා දුන්නේ රජු ට
මෙ තු න් ලොවට නායක පුන් සඳ ලෙස ට
උ තු ම් බෝසතෙක් උපදි ය තුන් ලොවට

ද හ ස් ගණන් සිටි දෙවඟන අත් හැර ලා
ද හ ස් සිය දහස් දිව සැප අත් හැර ලා
ම හ ත් ගුණැති මායා මව් සඳ දැක ලා
අ හ ස් උඩින් පුන් සඳ ලෙස වැඩම ක ළා

මා යා බිසවුන්ට දොළ දුක් හට ගැනි ලා
ද යා සිතින් සැම යදියෝ රැස් කර ලා
කි යා සැම තැන ම වාසල් කරවා ලා
ගි යා බිසව දන් සැල් දැක සතුටු වෙ ලා

දොළ උපතක් උදු මායා බිසවුන් ට
අරිති වහති වාසල් දොර නුවර ව ට
දොරටු සතර වාසල් හැර දන් දෙන් ට
දොළ සන්සිඳුණි මහමායා බිසවුන් ට

දෙවනු දොළක් හට ගත්තේ බිසවුන් ට
නුවර සැම තැන ම දිව පුරයක් ලෙස ට
පවර උතුම් මණ්ඩපයක් සොඳ රුව ට
නුවර වට ඇවිද වැඩියා මණ්ඩපෙ ට

සල් උයනට යන්ට දොළ දුක් උණිය ම ට
රන් රිදියෙන් සරසන්නේ උයන ව ට
සතර වරම් දෙවියෝ මුර ජාම ව ට
සන්තොස වෙමින් වැඩමෙව්වේ උයන ව ට

ස ල් උයනට වැඩියේ බිසව් මන ලො ලා
ම ල් පිපිලා බමරුන්නේ නද විපු ලා
ස ල් කඳ නැමුණි බිසවට බිම පාත් වෙ ලා
ක ල් දැන දස මාස සපිරිණිය ගැබ තු ළා

මැණික් කරඬුවේ ගනරන් පිළිම ලෙ සා
මෑණියන්ට පෙනි පෙනි කුමරුන්ගෙ ඇ සා
සැදී නොයෙක් අබරණ පැළඳී යස සා
පෙනී සෑම දෙවියෝ වැඩියා විග සා

ව ඩා සිරිහස්ත සල් කඳ උඩින් ද රා
ව ඩා පළඳින්ට මල් කඳ නැමුණු පු රා
වි ඩා හැර අල්ලමින් අත්ත මනහ රා
ව ඩා වටකරට තිර ඇද එවිසිතු රා

ක ල් දැනුණේ දසෙකඩ මස පිරුණු තැ නේ
රැ ල් පුළුනේ බරකුත් බඩට නො දැණු නේ
ම ල් පවනේ එන ලෙස සොඳ සිහිල දැ නේ
ස ල් උයනේ දී ව ද කුමරු බිහි උ ණේ

අහසින් ඇවිත් දෙවියෝ වටකර සැදු ණේ
දහස් ගණන් සුරඟන වටකර සැදු ණේ
වෙහෙස නැතිව බිහි වුණි කුමරු විගසි නේ
මහබඹු ගෙනැත් වැඩුවා රන් දැල සොඳි නේ

බිහි වුණි කුමරු පුන් සඳ ලෙස රන් දැල ට
මනනඳ කුමරු බලමින් තුන් ලොව එවි ට
මට වැඩි කෙනෙක් නැති බව දැක තුන් ලොව ට
සිහනද පෑ ය එවිගස කුමරු මනතු ට

පියුම් සතක් පිපුණිය ඒ කුමරුන් ට
පියුම් පිටින් වැඩ බැලූවේ සතර ව ට
උතුම් නාද පෑ සිදුහත් කුමරුන් ට
රන් කිරි මේ වඩති එවිගස කුමරුන් ට

නොයෙක් කිරිමවුන් දෙපසේ නෑර ව ට
දහස් ගණන් නිම නැති ගෝසාව කො ට
දෙපෝදාට පායන පුන් සඳ ලෙස ට
නොයෙක් පෙරහරින් වැඩියාය රජ ගෙ ට

දහස් ගණන් මුරකාවල් වටකර ට
දහස් සිය දහස් දිව මල් යස ලෙස ට
දහස් පුන් සඳක් ලෙස ඒ කුමරුන් ට
සොළොස් වයස පිරුණා මේ කුමරුන් ට

දුනු සිල්පය සැදුණේ අප බෝසතු ට
යසෝදරා අගමෙහෙසුන් පළමු සි ට
එකුන් තිසක් අවුරුදු ගිහිව වැඩ සි ට
උතුම් සිරි සැපත හැර බිසව සහ තු ට

සසර කළකිරි තපසට සිත් පැහැ දී
බොහොම බිසව් ඇරියේ රජ යන්ට නො දී
කොහොම උණත් අද යමි මම මෙතැන්හි දී
මහණ වෙන්ට කළකිරුණේ උයනේ දී

දිව යහනේ බෝසත් නැගිට විගසි නේ
ගිහි සැපතය හැර යමි මහණට ඉති නේ
ඔන්න කවුද දොරටුව ළඟ සිටින් නේ
චන්න මමයි දොරටුව ළඟ සුවාමි නේ

සංසාරේ ඈත ම සිට පෙරුම් පි රූ
දැන් කාලේ ආවා පෙරටුව කුම රූ
ඉතින් මහණ වෙන්නේ දැක මගෙ කුම රූ
පින්වත් උතුම් ඉපදුණි රාහුල කුම රූ

ම ගේ යාළු එන්නේ නුඹ ඈත සි ට
අ ගේ ඇති ගමන් අද විතරයි මෙ ම ට
අ ගේ ඇතිව ආබරණත් දියන් ම ට
ම ගේ යාළු අසු සරසා දියන් ම ට

ග ලා කඳුළු වැටෙමින් ඇමති එම වි ට
බ ලා මගේ කුමරුන් එමි සහතිකෙ ට
වැ ඩ ලා බිසව් සිටිනා මාළිගාව ට
දැ ක ලා බිසව් සැතපෙන සැටි යහන පි ට

සි රි හස්තෙන් රන් බාපත අල්ලා ලා
සි රි පද රන් පඩි කඳ පිට තබා ලා
පි රි සිදු යහනෙ සැතපෙන පුන් සඳ ලී ලා
සි රි පද ගත්තෙ ආපසු කිසිවක් නො බ ලා

අ මු ණ ක් පමණ මල් අතුරපු යහන පු රා
ප ම ණ ක් එරුණි කුමරුට රන් කිරි තිස රා
ක ව ද ත් වරද නැති පින්කඳ යසෝදරා
ව ර ද ක් බුදු බවට පැමිණේය අන්ත රා

ස ත් බඹයක් නිල් වරලස මිදී ලා
අ ත් බඹරෙකු ලෙසට වරලස කැරකී ලා
සි ත් ලෙස කුමරු යහනේ කිරි බොන ලී ලා
අ ත් හැර ඉන්ට බැරි වෙයි රන් කුඹු දැක ලා

පෙරුම් පුරා ගෙන එන්නේ ඈත සි ට
පතා සතුන් දන් දුන්නේ බුදු බව ට
කතුන් සැමට නායක පුන් සඳ ලඳ ලෙස ට
ඉතින් කතා කෙරුවොත් මගෙ බිසොවුන් ට

ර න් යහනේ සැතපෙන මගෙ බිසවුන් ට
ළං කර කුමරු බැලූවෝතින් යහන පි ට
ර න් ලිය වැලකි සිරි හස්තය කුමරු පි ට
පි න් කඳ බිසව් සැතපෙන සැටි දුටු නෙත ට

මැණික් කරඬු කට ලා කිරි බොන කුම රූ
අනික් දෙයක් දුටුව ම මොකට ද නිස රූ
වෙනස්කමක් සිතුවේ නැත මට අයු රූ
සිතක් දරා ගෙන නෙත් දෙක කඳුළු පි රූ

සාගර ජලය මදි ඇඬුවා මා සින් දා
කීකරු ළද ලියක් මේ ලෙව් තුළ ඇද් දා
වෙන් කර අද ම යන්නේ බුදු බව සින් දා
සුන් කර කෙලෙස් දුරු කර එක සිත් පැහැ දා

එක අඹු දරු නිසා මම කල් බැඳීම ය
නිම නැති සතුන් සසරින් ගොඩ ගැනීම ය
අද මම මහණ වෙමි ආලය හැරීම ය
පුදුම කුමරු රුව ඇති මගෙ රාහුල ය

http://www.sriviwekaramaya.org/index.php/component/content/article/128-yasodarawathe

Add a Facebook Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>