විද්‍යූත් මාධ්‍ය සෝදාපාලුවේ සාක්කිකාරයා – නිමල් ලක්ෂපතිආරච්චි

Nimal_laksapathi

“මම සිරස හදුන්වා දෙන විට මෙහෙම දෙයක් වේවි කියලා මා හිතුවේ නැ. අද මම කණගාටු වෙනවා මම කරපු දේ ගැන. ගුවන් විදුලි නාලිකා අද කතා කරන්නේ කුණුහරුප. මේ විනාශයේ අගෞරවය මටයි. ඒ ගැන මා කණගාටුවෙනවා.” – නිමල් ලක්ෂපති ආරච්චි

ශ්‍රී ලංකාවේ විද්‍යූත් මාධ්‍ය ක්ෂේත්‍රය නව මානයකට යොමු කළ ප්‍රවීණ විද්‍යූත් මාධ්‍යවේදී නිමල් ලක්ෂපති ආරච්චි මහතා 20 වැනිදා පෙරවරුවේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මියයන විට 58 වැනි වියේ පසු වූ ලක්ෂපති ආරච්චි මහතා දෙදරු පියෙකි. ශබ්ද පරිපාලකවරයකු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය මගින් සිය මාධ්‍ය දිවිය ආරම්භ කළ ඒ මහතා පසු කාලයේ මෙරට බිහි වූ ඉතා ජනප්‍රිය විද්‍යුත් නාලිකාවන්හී පුරෝගාමී චරිතයක් බවට පත්විය. අපෙන් සමුගත් නිමල් ලක්ෂපතිආරච්චි කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම සටහන තබන්නෙමු.

ඒ නම රට්ටුන් අතර ප්‍රකට චරිතයක් බවට පත් වූණේ එක්දහස් නවසිය අනූ හතරේදි “සිරස එෆ්.එම්” ගුවන් විදුලි නාලිකාව ඇරඹීමත් සමගය. එකල රජයේ භූක්තියට පමණක් සීමා වී තිබූ ගුවන් විදුලි ඒකාධිකාරිය කඩා බිද දැමුවේ ඔහුය. ජනප්‍රිය එෆ්.එම්. නාලිකා ක්‍රමය ලංකාවට හදුන්වා දුන් නිමල් ලක්ෂපතිආරච්චි ඒ නිසාම “දෝහියකු” ලෙසද හංවඩු ගසා තිබුණි. ඔහු “සිරස” පටන් ගන්නා විට විචාරකයන් එය හැදින්වූයේ “පන්නිපිටියේ මොන්ටිසෝරිය” යන නමිනි.

Nimal Lakshapathi Arachchiශ්‍රී ලංකේය ගුවන් විදුලියේ ගමන උඩුයටිකුරු කළ නිමල් ලක්ෂපතිආරච්චි යන නම මුලින්ම ගොඩ නැගෙන්නේද ‍ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථව තුළමය. දයානන්ද ගුණවර්ධන හා සුගතපාල සිල්වා වැනි ගුවන් විදුලියේ පතාකයන්ගේ ඇසුරේ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ වසර දාහතරක් සේවය කළේය. එකල නිවේදකයෝ කතා කළේ බොහෝ ගරු ගාම්භිර බර වදන්වලිනි. එක්, එක් නිවේදක‍යාට අයත් වූ ශෛලයක්ද තිබුණි. කෙ‍සේ නමුදු ඒ සියල්ල නිමල් ලක්ෂපතිආරච්චි සිරස එෆ්.එම් නාලිකාවෙන් ‍ වෙනස් කළේය. සරල, සුන්දර, රසාස්වාදය ඔහුගේ තේමාව විය. ඔහුගේ අරමුණ වූයේ කොළඹ තරු හතේ හෝටලයේ සිට ගමේ කෝපි කඩේ දක්වා අසන්නන්ට එකම ආකාරයක සරළ,සුන්දර විනෝදාස්වාදයක් ලබා දෙන්නටය. එය ‍ෙකතරම් ජනප්‍රිය වූවාදැයි කිවහොත් ‘නිමල් ලක්ෂපති ආරච්චි නව විද්‍යූත් නිවේදන ශෛලය’ උඩු යටිකුරු කළ නව පරම්පරාව සිංහල භාෂාව කෑලි කෑලිවලට කැපීමෙන් පටන්ගත් ඇරඹුම අවසානයේදී රටේ සංස්කෘතිය සෝදා පාලුවක් දක්වා ගමන් කළේය. ලක්ෂපතිආරච්චිගෙන් පසු එෆ්. එම්. නාලිකාවලින් බිහිවුයේ ‘බජාර්’භාෂාවකි. ‘බජාර්’ සමාජයකි.

මේ විනාශයේ ‘විත්තිකරු‍වා’ ලෙස සියලු දෙනා ඇගිල්ල දිගු කළේ නිමල් ලක්ෂපති ආරචිච්ට‍ය. අවසානයේදි ඔහු ඒ බව පිළිගත්තේය. එය 2005 මැයි 08 වැනිදා ‘ලක්බිම’ ඉරිදා සංග්‍රහයේ පළ වුයේ මෙසේය.

“මම සිරස හදුන්වා දෙන විට මෙහෙම දෙයක් වේවි කියලා මා හිතුවේ නැ. අද මම කණගාටු වෙනවා මම කරපු දේ ගැන. ගුවන් විදුලි නාලිකා අද කතා කරන්නේ කුණුහරුප. මේ විනාශයේ අගෞරවය මටයි. ඒ ගැන මා කණගාටුවෙනවා.

ඒ කාලේ තිබුණේ ගුවන් විදුලියේ තිබුණේ ඒකාධිපතිවාදයක්. ඒකාකාරි බවක්. මට ඕන වුණේ ඒ අධිපතිවාදය කඩා බිද දමන්නයි. එහෙත් දැන් වෙලා ඇත්තේ මම නොහිතපු ‍දෙයක්.

තමා කළ දේ ගැන පශ්චාත්තාප වූ නිමල් ලක්ෂපතිආරච්චි අවසානයේදි සිරස හැරපියා ගියේය. ඉක්බිතිව ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයද 2006 දි එම සංස්ථාවේ උපදේශක ධූරයද දැරිය. පසුගිය කාලයේ ඔහු එෆ්.එම් නාලිකා නියත උපදේශකවරයකු ලෙසද සේවය කළේය. රූපවාහිනි නවීන තාක්ෂණය හදුන්වා ‍දිමේ ප්‍රමුඛයකු වූ ඔහු චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක්ද ඇරඹිය. දුරකථන සමාගමක “රිගින් ටෝන්” පිළිබද විශේෂඥ උපදෙස් දුන්නේය. මගේ දැනීමේ හැටියට ඔහු අවසානයට එක් වූයේ ලංකාවේ නවතම රූපවාහිනි නාලිකාව වන “හිරු ටි.වි” හි නාලිකා ප්‍රධානියා ලෙසය.කෙසේ නමුදු ලංකාවේ විද්යුත් මාධ්‍යයේ බො‍හෝ පෙරළි කළ නිමල් ලක්ෂපති ආරච්චි අප අතර දැන් නැත්තේය. එනමුත් ඔහු ශ්‍රී ලංකිය එෆ්.එම්. නාලිකාවල තිබු තම නම් කිසිදා කිසිවෙකුට අමතක කළ නොහැකිය. ඔහු ගැන කතා නොකර විද්‍යුත් මාධ්‍යයේ අනාගතය ගැන කතා කරන්නට අපහසුය.

Nimal Lakshapathi Arachchi

Photo credits : MurrPoosa Photography & Dream Team Creations
Article by : Lakbima.lk 

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox